Monday, October 10, 2011

ලස්සන වැඩක් අවසානයේ ඉතිරි වූ සතුට


කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක අධ්‍යන ආයතනය (University of Colombo School of Computing) හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව එකතු වී පවත්වන පරිඝනක නිර්මාණ තරගාවලියක් (Media Editing Competition) පිළිබඳව මම පෙර ලිපියකින් සඳහන් කලා. ඒ හා සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලීය පරිඝනක සංගමය (CompSoc) විසින් ජායාරූප සංස්කරණය (Image Editing) , ශ්‍රව්‍ය-දෘශ්‍ය සංස්කරණය (Video Editing) හා ශ්‍රව්‍ය සංස්කරණය (Audio Editing) පිළිබදව දින දෙකක පුරා විශේෂ වැඩමුළු මාලාවක් සංවිධානය කළා. මේ වැඩමුළුවට මටත් කොටස් කාරයෙක් වෙන්න ඉඩ ලැබුනෙ සංජය, අනිල්, මාධව, සශාන් ඇතුළු කොළඹ විශ්ව විද්‍යාලීය පරිඝනක සංගමයේ ක්‍රියාකාරී සොහොයුරන් විසින් ශ්‍රව්‍ය සංස්කරණය පිළිබඳ වැඩමුලුවක් හා විශේෂ සැසිවාරයක් (Special Session) පවත්වන්න ඉල්ලීමක් කිරීමත් එක්ක.

ශ්‍රව්‍ය සංස්කරණය පිළිබදව එක් දින වැඩමුළු දෙකක් දින දෙක තුළ පැවැත්වුන අතර පළමු දිනයේ වැඩමුලුව චිත්‍රපට සඳහා පවා ශ්‍රව්‍ය සංස්කරණ අධ්‍යක්ෂකවරයෙක් ලෙස දායකත්වය සපයා ඇති අපගේ ජ්‍යේශ්ඨ සහෝදරයෙක් වන උදිත ජයසිංහ සොයුරා විසින් පැවැත්වුවා. මෙදින විශේෂ සැසිවාරය මා විසින් පැවැත්වුවා මෙහිදී මම ශබ්ද තරංග හා ඒවා ඩිජිටල් (Digital) ලෝකයේදී පවතින, වර නැගෙන ආකාර වැනි මූලික සිද්ධාන්ත ගැන හා එක් මෘදුකාංගයක් හදුන්වා දී එහි සිටි අයගෙන් සමහරක් අහඹු ලෙස තෝරාගෙන එතනදීම කුඩා ශ්‍රව්‍ය කොටස් නිර්මාණය කරවීමත් සිදුකළා. මේ සඳහා මම නිර්මාණය කරපු පිටු දහයකට ආසන්න ටියුට් එක පිටපත් එකසිය පනහකටත් වඩා විශාල ප්‍රමාණයක් ඉතාමත් ලස්සනට මුදුණය කරල වෙලාවට ලබා දීපු සහෝදරයන්වත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනි.


මෙහි දෙවන දින වැඩමුළුව සම්පූර්ණයෙන්ම කිරීම තමයි අභියෝගය උනේ. උදෑසන පැය තුනක දේශනයක් හා සවස පැය දෙකක ප්‍රායෝගික සැසිවාරයක් (Practical Session) පත්වන්නට නියම වෙලා තිබුනා. උදෑසන දේශනය පැය තුනම ශ්‍රව්‍ය සංස්කරණය ගැන නොකර එයින් පැයක් චත්‍ර සහෝදරයාට සංගීත රචනය (Music Composing) පිළිබඳව කරන්නට අවස්ථාව ලබාදෙන්නට අප තීරණය කළා. එයින් සහභාගී වූ අයට ශ්‍රව්‍ය සංස්කරණයෙන් එහා ගිය දැනුමක් ඉතා කෙටි කාලයක් තුල ලබා දෙන්නට චත්‍ර සහෝදරයාට හැකි වුනා. මොහුගේ මේ දේශනයට ගිටාරයක් අවශ්‍ය වුණා. ඒ අවස්ථාවේ මගේ පාසල් මිත්‍රයෙක් වන යසිත් සහෝදරයා මා සමඟ ගෙදර සිටියා හා ඔහුගේ වසර විස්සකට වඩා පැරණි ඉතාමත් වටිනා ගිටාරය තිබුණා. මම ඉල්ලන්නත් කලියෙන් ඔහු එහි වැදගත්කම වටහාගෙන ගිටාරය ලබා දුන්නා. ඒ ගැන ඔහුට විශේෂයෙන් ස්තුති කරන්නට ඕනි. ඔය ගිටාරය හා ලැප්ටොප් පරිඝනකය එල්ලගෙන උදේ ට්‍රැෆික් එකේ බයික් එකේ කැම්පස් එකට යන්න මම විඳපු දුක වෙනම ලියන්න තරම් කතාවක්.

මේ වැඩමුළුව සඳහා පරිඝනක පනහක් පමණ තිබූ Forth Year Lab වල පරිඝනක වලට අවශ්‍ය මෘදුකාංග (Software) දැමීම තමයි ඊලඟ අභියෝගය උනේ. අපිට සර්වර් (Servers) සඳහා ඇතුල් වෙන්න අවසර නැති නිසා හැම පරිඝනකයකටම එකින් එක මෘදුකාංග ස්තාපනය (Install) කරන්න උනා. වැඩමුළුවේදී භාවිතා වුන හැම මෘදුකාංගයක් (මෘදුකාංග හයක් පමණ) වගේම හා ගිගා බයිට් හතරටකට (4 GB) ආසන්න ශ්‍රව්‍ය කොටස් (Audio Files) ප්‍රමාණයකුත් හැම පරිඝනකයකටම එකින් එක දාන්න (Copy) උනා. මේකට අපේ ජූනියර් මල්ලිලා නංගිලා හා මගේ බැච් එකේ සහෝදරයො පිරිසක් විශාල මහන්සියක් දැරුවා.

දෙවන දිනයේ වැඩමුළුවට දුක් විදල ගෙනාපු ගිටාරයත් කරගහගෙන මම ඔඩිටෝරියම් (Auditorium) එකට ගිහින් කටයුතු ලෑස්ති කරනකොට ස්ටීරියෝ (Stereo) ශබ්ද පද්ධතියෙ පැත්තක් වැඩ නෑ. බලනකොට මික්සරයෙ (Mixer) ජැක් (Jack) එකක් ගැලවිලා. ඔන්න ඒකත් හදාගෙන වැඩේට ලෑස්ති උනා.

මෙතන සුදු කමිසයක් ඇඳගෙන ඉන්නෙ මම. ඉරි කමිසයක් ඇඳගෙන ඉන්නෙ චත්‍ර සහෝදරයා.


වැඩමුළුවෙ පළමු පැය දෙක මම දේශනය පැවැත්වූවා. එහිදී ශ්‍රව්‍ය සංස්කරණය හැඳින්වීම හා විවිධ මෘදුකාංග භාවිතයෙන් ශ්‍රව්‍ය සංස්කරණය සිදුකරන ආකාරය පෙන්වා දුන්නා. එහිදී භාවිත කරපු මෘදුකාංග නම්,
  1. Audacity
  2. Adobe Audition
  3. Reason
  4. WaveLab
  5. Magix Music Maker
යන මෘදුකාංග. ඉන්පසු චත්‍ර සහෝදරයා විසින් පැයක් සංගීත රචනය ගැන Reason හා Nuendo යන මෘදුකාංග භාවිතයෙන් හැඳින්වීමක් කළා.


ඉන්පසු බ්‍රයන් සහෝදරයා විසින් පැය දෙකක් විශේෂ සැසිවාරයක් මූලික සිද්ධාන්ත පිළිබඳව ඉතාමත් රසවත් ආකාරයෙන් සිදුකළා. මෙයින් පසු පැය දෙකක ප්‍රායෝගික සැසිවාරය පැවැත්වූවා. මෙහිදී ශ්‍රව්‍ය සංස්කරණය පිළිබඳ ප්‍රායෝගිකව දැනුම ලබා දීම හා දේශනයේදී ඉගැන්වූ දේ ප්‍රායෝගිකව කරන්නට අවස්ථාව ලබා දුන්නා.



දේශනයේදී ප්‍රශ්ණ ඇසීමට අවස්ථාවක් ලබා දෙන්නට කාල වේලාව නොතිබූ නිසා ප්‍රශ්ණ නිරාකරණයත් මේ සැසිවාරයේදීම සිදු කළා.


විවිධ ශ්‍රව්‍ය සංස්කරණ උපක්‍රම හා විධි රාශියක් මෙහිදී ඔවුන් හට ප්‍රායෝගිකව උගන්වනු ලැබුවා
.

වඩාත්ම සතුටුවිය හැකි කාරණයනම් මෙයට සහභාගී වූ හැම කෙනෙක්ම වැඩමුළුව අවසානයේ තමන් විසින්ම නව ශ්‍රව්‍ය නිර්මාණයක් ලබා දී තිබූ ශ්‍රව්‍ය කොටස් සංස්කරණය කිරීමෙන් නිර්මාණය කර තිබීමයි. මම ඒ හැම කෙනක් ගාවටම ගිහින් පුද්ගලිකවම ඒ සියළුම නිර්මාණ රස වින්දා.


ලබා දීපු දැනුම ඒ අවස්ථාවේදීම ප්‍රායෝගිකව භාවිත කර අලුත් යමක් ඔවුන් නිර්මාණය කර තිබීම ඉතාමත් සතුටක් ඇති කළා.


ඔවුන් සියළු දෙනාගේම නිර්මාණ ඒ ඒ පුද්ගලයාගේ රසවින්දනය මත පදනම් වෙලා නිර්මාණය වෙලා තිබුණ නිසා. ලස්සන එකිනෙකට වෙනස් නිර්මාණ රාශියක් උණු උණුවේම රස විදින්නට මටත් මගේ සහෝදර වරුන්ටත් හැකි උනා.


තමන්ගෙ නිර්මාණය ඒ වෙලේම බලල අගයනකොට හැම කෙනෙක්ගෙම මූණෙ ඇදුන සතුට වැඩමුළුවෙන් ඔවුන් තෘප්තිමත් වූ ආකාරය මැනවින් කියා පෑවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ සතුට ෆීඩ් බැක් වලිනුත් කියා පාලා තිඹුණා


මේ විදිහට බොහොම සාර්තකව වැඩමුළුව නිමාවක් දුටුවෙ සවස පහත් පහු වෙලා. සියල්ලෝම ඉතාමත් සතුටෙන් තමයි පිටවෙලා ගියෙ.

UCSC සිසුන් විදිහට අපි හැමදාමත් සමාජයට වැදගත් දේවල් සිදු කළා. IFO++ ප්‍රදර්ශනය එයට එක් හොඳ උදාහරණයක් (ශ්‍රි ලංකාවේ පැවැත්වූ පළමු ICT ප්‍රදර්ශණය). මේ විදිහටම අපේ ජූනියර් මල්ලිලා හා නංගිලා මේවා දිගටම පවත්වාගෙන යයි කියල අපි දන්නවා. ඒ නිසා UCSC එකෙන් දිගටම සමාජයට වැදගත් දේවල් ඉදිරියේදී (අපි තව ටික කාලයකින් උපාදිය ගෙන ඉවත්ව ගියත්) බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මට කිසිම පින්තූරයක් ගැනීමට නොහැකි උන නිසා පින්තූර ලබා දීම ගැන සංජය සොයුරාට හා මාධව සොයුරාට ස්තුති වන්ත වෙනවා.

මේ ගැන ඔවුන් දෙපලත් ලිපි ලියා තියෙනවා. මාධවගේ ලිපිය මෙතනිනුත්, සංජයගේ ලිපිය මෙතනිනුත් බලන්න පුළුවන්.

5 comments:

  1. Well done !! Keep it up friends !! UCSC always have done great things for the society through out many years.We should not forget massive projects like IT Quiz 2008 and Sri Lanka Genies 2009 along with IFO ++ in 2010.

    As a past member of CompSoc ,I really feel proud and hope all the students of UCSC (past and present and future) will keep on contributing to great events like this with pure intentions to uplift the IT literacy of Sri Lanka.

    Keep us posted about next exiting events !!

    Cheers !!
    Garu

    ReplyDelete
  2. @gayangarusinghe: We are going on the path you created. So some of the credit goes to you guys from each and every work we do. Thanks for the comment bro!!!

    ReplyDelete
  3. ඇත්තටම ඉතාමත් සතුටින් ගෙවුනු දින කිහිපයක්...
    නැවත මතක්කර දුන්නාට ස්තූතියි යාළුවේ..

    ReplyDelete
  4. එදා උබ දුන්නු සහයෝගය ගොඩක් වටිනවා මචන්..
    ඒ දවස් ටිකෙන් පස්සෙ හිතට දැනුනු සතුට තාමත් හිතේ එහෙමමයි :)

    ReplyDelete
  5. @දෞපදී: ඔව් ලස්සන දවස් කීපයක්..බොහොම ස්තුතියි ප්‍රතිචාරයට!!

    @Sanj: ඉදිරියේදිත් හැම වැඩකටම මම සම්පූර්ණ සහයෝගය දෙන්නම්.. කොමෙන්ටුවට ස්තුතියි මචං!!!

    ReplyDelete